you're reading...
අදහස්

ලේ සහ කළු තෙල් අතරින් උතුරේ දේශපාලනය දෙස

Image

‛යුද්ධය යනු ලේ හලන දේශපාලනයයි’ යන්න උතුරෙහි සටන්කාමී ව්‍යාපාර ප්‍රබල මට්ටමක පැවැතුණ අවධියෙහි සමාජය තුළ ප්‍රචලිත පාඨයකි. බොහෝ විශ්ලේෂකයන්ට අනුව මෙම අවධිය පශ්චාත් යුද්ධ අවධියකි.

ඒ අනුව යුද්ධයට පසුව උතුරෙහි දේශපාලනය යනු ලේ වෙනුවට කළු තෙල් හලන යුද්ධයක් බවට පත්ව ඇත යැයි කිව හැකි තරමට යුද්ධයෙන් පසුව උතුරට කළු තෙල් සුපුරුදු දෙයක් බවට පත්ව ඇත.

මේ අයුරින් උතුරෙහි ආණ්ඩු විරෝධී දේශපාලනය කළු තෙල්වලින් අභිෂේක කරමින් පවතින අතරෙහි වුව උතුරේ සමාජය තුළ දකුණෙහි දේශපාලන පක්‍ෂ නමින් හැඳින්වෙන දේශපාලන ධාරාවට අයත් පිරිස් උතුරෙහි දේශපාලනය කිරීම කෙරෙහි දක්වන්නේ අතිමහත් උනන්දුවක් බව මාධ්‍ය වාර්තා දෙස බැලීමෙහිදී මැනවින් පෙනී යයි. මෙම හැම මාධ්‍ය ආවරණයකින්ම කියන්නට උත්සාහ දරන්නේ ඉතාමත් පැහැදිලි පණිවිඩයකි. එනම් “දෙමළ මිනිස්සු ඉන්නේ අපි එක්කයි”. තරුණ දේශපාලනඥයන්ව සිප වැළඳ ගන්නා වයෝවෘද්ධ දෙමළ අම්මාවරු සහ තාත්තාවරු, සාරි ඇඳ පොට්ටු තබා මල් මාලා දමා දේශපාලනඥයන්ව පිළි ගන්නා දෙමළ යුවතියෝ, දෙන දෙයක් ලබා ගන්නා ඉරියව්වෙන් සිටින දෙමළ ළමා ළපටින් ඒ පණිවිඩය දීම වෙනුවෙන් භාවිත වන්නෝ වෙති. මෙම ඡායාරූපවල දේශපාලනය මතකයට ගෙන එන්නේ යටත්විජිත සමයෙහි සුදු මහත්තුරු කළු යටත් වැසියන් කෙරෙහි යොමු කළ බැල්මයි.

අනෙක් අතට දකුණෙහි ආණ්ඩු විරෝධී දේශපාලනය තම ක්‍රියාකාරකම් උතුර දක්වා ව්‍යාප්ත කිරීමට දරන උත්සාහය ද මේ වන විට උතුරට ආගන්තුක දෙයක් නොවෙයි. ක්‍රම විරෝධී දේශපාලනය පිළිබඳ අභිලාසයන් රැගත් මෙම දේශපාලනයට තවම උතුරෙන් පැහැදිලි සංඥාවක් නොලැබීමට බොහෝ හේතු තිබිය හැකිය. එවන් දේශපාලනයක් සඳහා අවශ්‍ය වන සංවාද භාෂාවක් තවම නිර්මාණය කර ගැනීමට ප්‍රගතිශීලි දේශපාලනය අපොහොසත් වීම එයට ප්‍රධාන හේතුවක් බව පෙනෙන්නට තිබෙයි. මේ සියලුම දේශපාලන ධාරාවන්ගේ උත්සාහය වන්නේ උතුරෙහි දේශපාලනය කිරීමයි. ඒ අතර උතුරටම අනන්‍ය වූ දේශපාලන ධාරාවන්ගෙන් යුතු දෙමළ දේශපාලනය ද උතුරෙහි දේශපාලනයෙහි යෙදෙයි. යුද්ධයට පෙර එය එල්.ටී.ටී.ඊ. හිතවාදී සහ එල්.ටී.ටී.ඊ. විරෝධී යන ධ්‍රුවීකරණය සහිතව ක්‍රියාත්මක වුවද මේ වන විට එය සහයෝගිතා දේශපාලනය සහ ජාතිකවාදී දේශපාලනය යනුවෙන් හඳුන්වා දීමට ලක් වෙයි. සහයෝගිතා දේශපාලනය යනුවෙන් තම දේශපාලන ව්‍යාපෘතිය හඳුන්වා දෙන්නන් ආණ්ඩු පක්‍ෂයට තම සහයෝගය ලබා දී කේවල් කිරීම තුළින් තම දේශපාලන අරමුණු ඉටු කර ගත යුතුය යන අදහස සමාජයට ලබා දෙයි. ජාතිකවාදී දේශපාලනය සුපුරුදු ලෙසින් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහය නියෝජනය කරයි.

මේ සියල්ල උතුරෙහි දේශපාලනය කිරීමට අදාළ දේශපාලන ධාරාවන් නියෝජනය කරන ඒවා වුවද මෙම මොහොතේදී වඩාත් වැදගත් අවශ්‍යතාවක්ව පවතින්නේ උතුර වෙනුවෙන්ද දේශපාලනය කිරීමට උනන්දුවක් දක්වන්නන්ය. දේශපාලනික වශයෙන් කිහිලිකරුවලින් මිස නැගී සිටිය නොහැකි තත්ත්වයකට ඇද දමා ඇති උතුරෙහි දේශපාලනය වෙනුවෙන් ද පෙනී සිටීම මෙම මොහොතේදී ප්‍රගතිශීලී ව්‍යාපාරයක වගකීමක්ව පැවැතීමයි. එය යථාර්ථයක් බවට පත් වන්නේ සමස්තයක් වශයෙන් ලාංකේය සමාජයෙහි හදිසි සමාජ ප්‍රතිසංස්කරණ සඳහා අරගලයක නියුතු ව්‍යාපාරයක දායකත්වය මතය.

දෙමළ ජනයාට පමණක් සාධාරණය ඉටුවෙන දේශපාලන විසඳුමක් යන්න මිථ්‍යාවක් බව උතුරෙහි දෙමළ දේශපාලනය විසින් වටහා ගනු ලැබීම වැදගත්ය. මක් නිසාද යත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා සිටින දේශපාලන ව්‍යාපෘතියක් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපතිත්වයට පාර කපා ඇති බව බැරෑරුම් ලෙස සලකන බව නොපෙනෙයි. එමෙන්ම දෙමළ ජනයා ජාතික දේශපාලනය තුළ යටත් වැසියෙක්ව සිටින තාක් ක්‍රම විරෝධී දේශපාලනයට හෝ දකුණේ නිදහස් වාතාවරණයකට හෝ ඉඩක් නොලැබෙන බව ද තිත්ත ඇත්තක් බව ද තේරුම් ගැනීම වැදගත්ය. මෙම කරුණු දෙක ගැන දෙකට දෙවාලේ නැති ප්‍රතිපත්තියකින් තොරව කටයුතු කරන දේශපාලන ව්‍යාපෘතියක් උතුරෙහි දේශපාලනය කරනවා වෙනුවට උතුර වෙනුවෙන් ද දේශපාලනය කරන දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් වෙයි.

සාමිනාදන් විමල්  | උත්තරධ්‍රැවය – සමිබිම නොවැම්බර් කලාපය  | Photo Courtesy : JDS
සාමිනාද විමල් - යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ කතිකාචාර්යවරයෙකු වන වන සමිනාදන් විමල් , 
දෙමළ සහ සිංහල ද්විභාෂික පරිවර්තකයෙකි. දෙමළ සාහිත්‍යවේදියෙකු වන  ඔහු , 
දෙමළ සාහිත්‍ය සිංහල පාඨකයා වෙත ගෙන ඒමට  විශාල දායකත්වයක් සපයමින් සිටී.
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements