you're reading...
අදහස්

ශ්‍රී ලංකා හමුදාව ලලිත් – කුගන් පැහැරගෙන් වසරයි

Image

අප ගමන් ගන්නා මාවත් දිගේ, මහ දවාලේම මුහුණු බැඳ දෑතට මංචු ලා අසුන් යට ඔබා පයින් පාගා සඟවා ගත් මිනිසුන් සහිතව සුදු වෑන් සැරි සරමින් තිබේ. අප ගමන් ගන්නා වාහනයට ඉදිරිපසින් හෝ පසු පසින් පැහැර ගන්නා ලද මිනිසුන් සහිත සුදු වෑන් පැමිණෙමින් තිබේ. පොලිස් මාර්ග බාධකවලදී අපගේ රථය නතර කරන නමුදු සුදු වෑන් නතර නොකෙරේ. ඒවා නිදහසේ අප අතරම සැරි සරමින් තිබේ.

මේ රාජපක්ෂ රෙජීමය තුළ අප මුහුණ දෙමින් සිටින යථාර්ථයයි. මේ පීඩනයේ ගොදුරු බිම බවට මුළු ලංකාවම පත්ව තිබේ. ගත වූ වසරේ පමණක් දහසකට ආසන්න පිරිසක් පැහැර ගොස් ඇතැයි වාර්තා වන අතර පැහැර ගෙන ගොස් පසුව මුදා හරින ලද්දවුන්ගේ ප‍්‍රකාශ දෙස බැලු විට මෙය කාගේ ක‍්‍රියාවක්දැයි පැහැදිලි වේ. පැහැර ගැනීමේ, අතුරුදහන් කිරීමේ හා ඝාතය කිරීමේ මෘගයින්ගේ තෝතැන්න බවට පත්ව ඇත්තේ උතුරයි. යුද්ධය නිමා වීමෙන් පසුව, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පැවැත්වීයැයි සැක සිතෙන සියලු දෙනාම සුදු වෑන්වලින් පැහැර ගෙන යමින් තිබෙන්නේ, ජාතිවාදයට ගොදුරු නොවූ මිනිසුන් ජාතිවාදයට ගොදුරු කරවමිනි, අහිංසකයින් සන්නද්ධ දේශපාලනය වෙත පොළඹවමිනි, නැවත අවි අතට ගැනීම හැර අන් කිසිවක් නැතැයි මාවත් පෙන්වමිනි. තිස් අවුරුදු යුද්ධයෙන් බැට කෑ රට ඊටත් වඩා දරුණු ඛේදවාචකයක් දක්වා රාජපක්ෂ රෙජීමය විසින්ම තල්ලු කරමින් සිටින්නේ මේ අයුරිනි.

ලලිත් කුමාර් වීරරාජ් යාපනයට ගියේ මේ යථාර්ථය හමුවේ ජාතිවාදය වෙත පල්ලම් බසිමින් සිටින ජනතාවට සැබෑ විසඳුම ඇත්තේ ජාතිවාදය තුළ නොව ජාතික සමගිය තුළය යන පණිවිඩය දීම පිණිසය. මෘගයින්ගේ දඩබිමට ඔහු පා තැබුවේ අනතුර නොදැන නොවේ. ඊට වඩා හෙට දවසේ උපන්, නූපන් පරම්පරාවන්ගේ විමුක්තිය ගැන ඔහු තුළ වූ හැඟීම නිසාය.

ලලිත් කුමාර් වීරරාජ් යාපනයේ  දේශපාලනය ආරම්භ කළ දිනයේ සිටම රජයේ ආරක්ෂක අංශ වෙතින් බරපතළ අභියෝග එල්ල වන්නට විය. අවස්ථා ගණනාවකදීම ඔහු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් අතර නිල ඇඳුම් ඇඳගත් හා සිවිල් ඇඳුමෙන් සැරසුණු හමුදා භටයින් ඔහු අවස්ථා කිහිපයකදීම පැහැර ගෙන යනු ලැබීය. ඒ සෑම අවස්ථාවකදීම ඔහුට කළ තර්ජනය එකකි. එනම්, යාපනයේ දේශපාලනය කරන්න එපා යන්නයි.

හමුදාව ස්වාධීනව ක‍්‍රියාත්මක නොවේ. හමුදාව ක‍්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ, දේශපාලන බලඅධිකාරියේ වුවමනාව සමගිනි. ඒ නිසා මේ තර්ජනය කිරීමේ හුදෙක් හමුදා භටයින්ගේ අත්තනෝමතික හැසිරීම් නොව රාජපක්ෂ රෙජීමයේ නියෝගය බව පැහැදිලිය.

මේ නිල ආරක්ෂක අංශවලින් මෙන්ම නොනිල කුලී හේවායින්ගෙන් එල්ල වූ තර්ජන හමුවේද ලලිත් පසුබැස්සේ නැත. ඔහු නැවත නැවත යාපනයට ගියේය. එහි මිනිසුන් හමු වීය. ඔවුන් සංවිධානය කරවීය. ඔවුන්ට දේශපාලනය ගෙන ගියේය. උතුරේ සහ දකුණේ පීඩිතයින් අතර පාලම ගොඩනැගීමේ දුෂ්කර හා අභියෝගාත්මක කාර්ය මොහොතකටවත් අඩාල කළේ නැත.

යාපනයට නොයන්නැයි ලලිත්ගේ තාත්තා අවස්ථා ගණනාවකදීම කීවේය. ඊට ඔහු දුන් පිළිතුර අද ආරුමුගම් වීරරාජ් මහතා හෙළි කරන්නේ දෙනෙතේ පුරවා ගත් කඳුළිනි. “තාත්තේ මෙහේ මිනිස්සු ගැන කතා කරන්න කවුරු හරි ඉන්නවා. යාපනේ මිනිස්සු ගැන කතා කරන්න කවුරුවත් නැහැ. එහේ හැමදාම පැහැර ගෙන යනවා. එහේ අම්මලා හැමදාම තමන්ගේ දරුවන්ගේ ෆොටෝ අරගෙන කඳවුරු ගානේ යනවා, ළමයින් සොයන්න. කවුරුවත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා දේශපාලනය කරන්න  ඕන එහේ. මැරිලා කියලා හිතාගෙන හිටපු ගොඩක් අය කඳවුරුවල ඉන්නවා සොයා ගන්න අපට පුළුවන් වුණා. තවත් එහෙම අය ගොඩක් ඉන්නවා”

ලලිත් උතුරේ කඳවුරෙන් කඳවුරට එබිකම් කරමින්, මිය ගොස් ඇතැයි කියා තිබූ උතුරේ දෙමාපියන්ගේ දරුවන්ගේ මුහුණුවලට සමාන මුහුණු ඇත්දැයි විපරම් කළේය. ඇතැම් මුහුණු සමාන වූ කල මා පියෝ හිනැහුණහ. ඒ හිනාවට ආදරය කළ ඔහු තමන් පසු පස මෘගයින් හඹා එන බව දැක දැකම තව තවත් විපරම් කළේය.

ඔහු සමග ඒ බොහෝ තැන්වලට කුගන් මුරුගානන්දන්ද සහභාගි විය. ඔහු හිටපු එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාධරයෙකි. එහෙත් එම ජාතිවාදී දේශපාලනය වැරදි බව තේරුම් ගත් ඔහු ජාතික සමගියේ මාවත තෝරා ගත්තේය. දෙමළ ජනතාවගේ පීඩනයෙන් දේශපාලන වාසි ගැනීමට සැරසෙන ජාතිවාදී දේශපාලන නායකයින් ප‍්‍රතික්ෂේප කරමින් සිංහල හා මුස්ලිම් පීඩිත ජනයා සමග එක්ව දේශපාලනය කිරීමේ මාවත තෝරා ගත්තේය. උතුරේ තරුණයින්ට ජාතිවාදී දේශපාලනයෙන් ඉවත්වීමට ආදර්ශයක් අවශ්‍ය නම් ඊට හොඳම ආදර්ශය කුගන්ය.

උතුරේ සිදු වන්නේ කුමක්දැයි ඔහු උපන් දා සිට දැක ඇත. ඒ නිසා මේ දේශපාලනයේ අවදානම ඔහු හැඳින සිටියේය. එහෙත් ඔහු ඒ අවදානමට බිය වූයේ නැත. ජාතිවාදය වෙනුවට දකුණේ තමන් මෙන්ම පීඩාවට පත්ව සිටින සිංහල ජනතාව සමග එක්ව දේශපාලනය කිරීමේ වැදගත්කම ඔහු සිය මිතුරන් අසල්වාසීන් අතර මෙන්ම යාපනයේ බොහෝ දන්නා, නොදන්නා මිනිසුන් අතරේ බෝ කිරීමට මැදිහත් විය.

රාජපක්ෂ රෙජීමය ජාතික සමගිය ගැන කතා කළද ඔවුන්ට සැබවින්ම අවශ්‍ය ජාතික සමගිය නොවේ. පීඩිතයින් ජාතිවාදය අතහැර සමගි වීම රෙජීමයේ පැවැත්මට කොහෙත්ම හිතකර වන්නේ නැත. දකුණේ පීඩිතයින් වෙනුවෙන් උතුරේ පීඩිතයින් නැගී සිටින, උතුරේ පීඩිතයින් වෙනුවෙන් දකුණේ පීඩිතයින් නැගී සිටින දිනයක් යනු රෙජීමයේ බලවතුන්ගේ දෙපා වෙව්ලන දිනයකි. එවැනි දිනයක් යනු සුවහසක් ජනයා පීඩාවට පත් කරන පාලන ක‍්‍රමයට බිය දැනෙන දිනයකි. ඒ නිසා ඔවුන් දෙසන ජාතික සමගිය යනු ලෝකෙට පෙන්විය හැකි ‘සාමකාමී’ තත්වයක් මිස සැබෑ ජාතික සමගිය නොවේ. ලලිත් සහ කුගන් මැදිහත් වූ දේශපාලනයේ දිශාව යෙදී තිබුණේ සැබෑ ජාතික සමගිය වෙතය. මල්ටිබැරල්වලින් සන්නද්ධ රෙජීමය මේ පුංචි මිනිසුන් දෙදෙනාට බිය වූයේ ඒ නිසාය.

හරියටම මීට වසරකට පෙර 2011දෙසැම්බර් 09වැනිදා ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන යතුරු පැදියකින් යාපනය නගරයට එමින් සිටියේ ඊට පසුවදා, එනම් දෙසැම්බර් 10වැනිදා යෙදෙන මානව හිමිකම් දිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වීම සඳහා පූර්ව සූදානම් කිරීමේ කටයුතුවලටය. දැනට වාර්තා වී ඇති පරිදි ඔවුන් පසුපස යතුරුපැදි කිහිපයක් හා සුදු වෑන් රථයක් හඹා විත් තිබේ. නීර්වේලි හන්දියේදී යතුරු පැදියක් ඔවුන්ට මග හරස් කළ අතර ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය පෙරළී ඇත. ඒ සමගම පසුපසින් ආ සුදු වෑන් රථයට ඔවුන් දෙදෙනා දමා ගෙන පිටත් විය. ඔවුන් පැමිණි යතුරු පැදිය පාරේ පැත්තකට විසි කර දැමිනි.

සිද්ධිය දුටුවන් ග‍්‍රාම නිලධාරී වෙත දුරකතනයෙන් සිද්ධිය දැනුම් දුන්නේය. ඔහු කෝපායි පොලිසිය වෙත දැනුම් දුන්නේය. පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ යතුරුපැදිය ගෙන ගියහ. ප‍්‍රකාශ ලබාගැනීම්, පරීක්ෂණ පැවැත්වීම් කිසිවක් නොවීය.

ඔවුන් දෙදෙනා ගැන තොරතුරක් නැති තැන කුගන් මුරුගානන්දනගේ බිරිඳ අච්චුවේලි පොලිසියට පැමිණිල්ලක් කළාය. ඊට දින කිහිපයකට පසුව ඇය නැවත පොලිසියට යන විට කුගන්ගේ යතුරුපැදිය පොලිසියේ තිබෙනු දුටුවාය. ඒ ගැන විමසූ විට පොලිසිය කීවේ එකිනෙකට පරස්පර කතාය. එහෙත් කෝපායි පොලිසියට යතුරු පැදිය ගැන දැනුම් දුන් බව දන්නා, කෝපායි පොලිසියේ නිලධාරීන් පැමිණ යතුරු පැදිය රැගෙන යනු දුටු අය සිටිති. ඔවුන් අධිකරණය හමුවේ කටඅරින්නේ නැත්තේ අන් කිසිවක් නිසා නොව මරණ බිය නිසාය.

ඒ නිසා මේ පැහැර ගැනීම පොලිසියේ, හමුදාවේ ඇතුළු නිල ආරක්ෂක අංශයේ සහ නොනිල මැරයින්ගේ ඒකාබද්ධ මෙහෙයුමක් බවට තවදුරටත් සැකයක් ඉතිරි වී නැත.

ඉන් පසුව කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල රජයේ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී නිල වශයෙන්, ප‍්‍රසිද්ධියේ මේ සම්බන්ධ ප‍්‍රකාශයක් කළේය. ඔහු පැවසුවේ, ලලිත් සහ කුගන් අතුරුදහන් වී නොමැති බවත් ඔවුන් දෙදෙනා සිටිනා බවත්ය. ඒ නිසා ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශකවරයා ලලිත් සහ කුගන් සිය අත්අඩංගුවේ සිටින බව නිල වශයෙන් පිළිගෙන තිබේ.

එසේ පිළිගෙන වසරක් ගත වී ඇතත් තවමත් ඔවුන් දෙදෙනා නිදහස් කර නැත.

ඉන් පසුව ඔවුන් දෙදෙනා කොළඹ පොලිස් සුබසාධන ගොඩනැගිල්ලට ගෙනා බවත්, එතැනින් කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන ගිය බවත් ඉන් පසුව තවත් කොහේ හෝ තැනකට ගෙන ගිය බවත් වාර්තා විය. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡුාවකදී ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් සාකච්ඡුා වූ බව වාර්තා විය. යාපනයේ නම නොදන්නා හමුදා කඳවුරක ඔවුන් දෙදෙනා රහසිගතව සඟවා සිටින බව වාර්තා විය.

මේ පැහැර ගැනීම් සිදු කරන්නේ ආණ්ඩුව විසින්ම බව සනාථ වන තවත් සිදුවීම් දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිදු වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීමයි. කුමාර් ගුණරත්නම් මහතාට  ඕස්ටේ‍්‍රලියානු පුරවැසිභාවයද තිබීම නිසා එම සිදුවීමට  ඕස්ටේ‍්‍රලියානු රජය මැදිහත් විය. ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලය ලංකා රජයෙන් මේ ගැන විමසීය. එම විමසීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත, දිමුතු ආටිගල වෙත පැමිණි ප‍්‍රශ්න කරන්නන් පැවසුවේ ‘කුමාර්ගේ පාස්පෝට් එකේ ප‍්‍රශ්නයක් තිබෙන’ බවයි.  ඕස්ටේ‍්‍රලියාව හා ලංකාව අතර සිදු වන රාජ්‍යතාන්ත‍්‍රික සාකච්ඡා, එම සාකච්ඡා සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුළත ‘නාඳුනන මැරයින්’ අතට පත් වන්නේ කෙසේද? ඒ නිසා මේ නාඳුනන මැරයින් අන් කිසිවකුත් නොව, ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් රාජ්‍යතාන්ත‍්‍රික ගනු දෙනු කරන, ඒ ගැන තීන්දු තීරණ ගන්නා අයම ය.

කොළඹ කෞතුකාගාරයේ කඩු සොරකමට පසුව පැහැර ගෙන ගිය ජෝන් ද සිල්වා සමරු රඟහලේ ආරක්ෂක නිලධාරියාටද උඩ එල්ලාගෙන පහර දෙනු ලැබුවේ, කඩු සොරකම තමන් විසින්ම කරන ලද බව පිළිගන්නා ලෙස කියමිනි. කෞතුගාරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඉවත් කොට, ආරක්ෂක කැමරා පද්ධතිය අකි‍්‍රය කොට ඉතා සැලසුම් සහගතව මෙම සොරකම සිදු කර ඇත. එය සිදු වූ දින කළු වීදුරු සහිත සුඛෝපභෝගී කාරයක් ඒ අවට කිහිපවරක් සැරිසරා තිබේ. මේ සොරකම ගැන කන්ගැට්ටකු ඉදිරිපත් කළද ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා බරපතළය. එසේ තිබියදී එහි වගකීම බාර ගන්නා ලෙස සිද්ධියේ ප‍්‍රධාන සාක්ෂිකරුවාට පහර දෙමින්, ඔහුගේ දරුවන්ට මරණ තර්ජන එල්ල කරමින් බල කරන්නේ කවුද?

කොළොන්නාව නගර සභාවේ නගරාධිපතිවරයා පැහැර ගැනීමට පැමිණි ගිනි අවි, යකඩ පොලු ආදිය සහිත සුදු වෑන් රථය ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගනු ලැබීය. එම රථයේ සිටියේ හමුදාවේ නිලධාරීන් සිව් දෙනෙකි. එම මෘගයින් සිව් දෙනා නිදහස් කර ගැනීමට පොලිසියේ ඉහළම බලවතුන් පැමිණියහ. අද වනතුරු ඔවුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වී නැත. ඔවුන් මුදා ගෙන ආරක්ෂා සහිතව ගෙන යනු ලැබීය.

මේ නිසා මේ පැහැර ගැනීම් සිදු කරන්නේ කවුරුන්ද යන්න ගැන තවදුරටත් සැකයක් ඉතිරි වී නැත. ගෙවී යමින් පවතින වසර තුළ පැහැර ගැනීම් දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී තිබීමෙන් මෙහි අවදානම කොතෙක්ද යන්න පැහැදිලි වේ.

වව්නියාව බන්ධනාගාරයේ දී ම්ලේච්ඡ ලෙස පහර දී නිමලරූබන්, ඩෙල්රුක්ෂාන් ඝාතනය කළ ආණ්ඩුව වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතරින් නාම ලේඛනයකට අනුව තෝරා ගත් පිරිසක් වාට්ටුවෙන් පිටතට රැගෙන ගොස් දණ ගස්වා වෙඩි තබා මරා දැමීය. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අමානුෂික ලෙස පහරදී තවමත් ගත වී ඇත්තේ දින කිහිපයක් පමණි. මේ වන විටත් ආණ්ඩුව සිසුන් දඩයම් කරමින් සිටී. හෙට මේ මර්දනයට මුහුණ දීමට දකුණේ සරසවිවලටද සිදු වනු ඇත. උතුරේ පැහැර ගැනීම් හමුවේ නිහඬව සිටි දකුණේ සමාජයට දැන් තමන්ගේ අසල්වැසියන්, ඥාතීන් දන්නා හඳුනන අය පැහැර ගෙන යනු බලා සිටීමට සිදුව තිබේ.

මේ ව්‍යසනය, වසංගතය පිටු දකින්නේ නැත්නම් ඔබේ නිවසට ඉදිරිපිට සුදු වෑන් රථයක් නතර කරන දිනය වැඩි ඈතක නොවේ. ඒ දිනය වන විට ඔබ බේරා ගැනීමට එක් පුද්ගලයකු හෝ ඉතිරිව සිටිනු ඇත්තේ අද ඔබ මේ ව්‍යසනයට විරුද්ධව හඬ නගන්නේ නම් පමණි. ලලිත් සහ කුගන් පැහර ගෙන ගොස් වසරක් ගත වන දිනයේ අපි ඔවුන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමි. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, වියරු ඒකාධිපතිත්වයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙරට එන ලෙස ඒ තරම්ම උස් හඬින් ඔබටද ආරාධනා කර සිටිමු.

 ජේ.ටී. ගමගේ

ලලිත් සහ කුගන් විශ්වාස කළ දේශපාලනය වෙනමම සංකච්ඡා කළ යුතු මාතෘකාවකි.මෙම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් විවේදචන තිබියදී පවා 
මෙය පළකරනු ලබන්නේ දේශපාලනය කුමක් වුවත්
 ඔවුන් පැහැරගෙන යාමට කිසිදු අයිතියක් ශ්‍රී ලංකා ඊනියා ආරක්ෂණ අංශයට නැත. 
ලලිත් - කුගන් නිදහස් කරනු
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements