you're reading...
සාමාන්‍ය පුවත්

‘‘ඉනි අවන්’’ – හඳගම කැමැත්තෙන් අතරමං වූවකි

Iniavan

‘‘ඉනි අවන්’’ චිත්‍රපටය සතු ‘‘පළමු’’ යැයි තැබෙන සටහන් කිහිපයකි. එය පශ්චාත් යුධ පළමු ශ්‍රී ලාංකීය දෙමළ චිත්‍රපටය වේ. එය පශ්චාත් යුධ යාපනයේ මුලුමනින් රූ ගත කළ පළමු චිත්‍රපටයද වේ. එවගේම සමස්ථ නලුනිළි කැලම, ශ්‍රී ලාංකීය දෙමළ නලු නිළියන් වූ පළමු චිත්‍රපටයත් ඉනි අවන් ය. එය අසෝක හඳගම ගේ පළමු දෙමළ චිත්‍රපටය ද වේ. චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණ ජීවිතයේ ද පළමු දෙමළ චිත‍්‍රපටය මෙය ය.

‘‘ඉනි අවන්’’ වෙහෙසක් නැති ඉවසීමකින්, හඳගම තිරයේ දිග හරින සිනමාවකි. වෙනදාටත් වඩා ඉවසීමකින් සහ අසීරුවකින් චන්න යාපනයේ සුන්දරත්වය මටසිළිටු සැහැල්ලූවකින් තිරය පුරා එලන්නේ ය. එහි රගපා ඇත්තේ සිංහල සිනමාවේ හෝ සිංහල මෙගා ටෙලි නාට්‍ය හරහා කඩා පාත්වන සරුවපිත්තල තාරකා නොවේ. ඇතැම් විට දෙමළ සමාජය හෝ නොදන්නා රංගධාරීන් විය හැක. එහෙත් හඳගම ලියූ තිර නාටකයේ චරිත සඳහා ඉතා වේදනාබර සංයමයක් ඔවුහු හඳගමට රිසි සේ රිද්මයානුකූලව එකතු කරති. කපිල පූගලආරච්චි ඔහුගේ සංගීතයෙන් හඳගම ගේ කතාව නිදි නැති සිහිනයක් සේ රිදවයි.

‘‘ඉනි අවන්’’ අවට ඇති දේ නොසිතා විඳින්නට හැකි, තලූ මරන්නට හැකි විනාඩි 109 ක සිනමා නිමාවකි. ඒ විනාඩි 109 න් පසු අප යළි මේ මහ පොළොවේ පය ගැසිය යුතු ය.

ඔහු අත හැර ඇති සියල්ලෙන් හඳගම අප අවට ඇති සියල්ල, නැවත අපට දේශපාලන කතිකාවක් ඇතුළත මතක් කරවන්නේ ය. ඔහු ‘‘ඉනි අවන්’’ සිනමා කෘතියෙන් කතා කරන්නේ ‘‘අක්ෂරය’’ සිනමාවෙන් කතා කළ ලිංගිකත්වය ඇසුරෙන් වූ ඉහළ සමාජයේ ඇබැද්දි මෙන් යම් පමණකට සමාජීය දේශපාලනයෙන් දුරස්ථ වූ කතාවක් නොවේ. හඳගම මේ කතා කරන්නේ, පසු ගිය අවුරුදු කිහිපය පුරා අප විවෘතව වාද කළ යුද්ධය හා සම්බන්ධ සෘජු දේශපාලනයකි. එහි ප්‍රධාන චරිතය වන පුරුත්ථාපනයෙන් පසු ගම එන එල්.ටී.ටී.ඊ සන්නද්ධ සාමාජිකයෙකු ගේ පශ්චාත් යුධ සමාජ ජීවිතය, හඳගම ඔහුගේ අර්ථකතනයකට හසු කරයි. මේ ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩපිළිවෙල පශ්චාත් යුධ දේශපාලනයේ එක් මතභේදාත්මක මාතෘකාවකි. ‘‘ඔහු, මෙතැන් සිට’’ යැයි දෙමළ බසින් සිනමා කෘතියට නම තබා ඇත්තේ ද එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ගේ පුනරුත්ථාපනයෙන් පසු ජීවිතය, සිනමා කෘතියේ සමස්ථ කතනය වන හෙයිනි.

හඳගමට, එවැනි පුද්ගලයෙකු ගැන ඔහුට හිමි මතයක් දැරීමේ අයිතිය ඇත. ඔහුගේ ඒ පුද්ගල අයිතිය ගැන අපට කතා නැතත් ඔහුගේ ඒ මතය, අර්ථ නිරූපණය ගැන අපට කතා කිරීමට පුලුවන. එනිසා බරපතල මත භේදයන්ට හසුව තවමත් ඉතිරිව ඇති දේශපාලන කාරණාවක් ජනප්‍රිය මධ්‍යයකින් සමාජය වෙත ගෙන ආ විට ඒ ගැන කතා කළ යුතුම ය. හඳගම ඔහුගේ මේ නිර්මාණය ඒ වෙනුවෙන් ඉදිරිපත් කළේ දැයි ද සිතේ.

යුද්ධය නිමාවීමත් සමග හමුදාව විසින් එක්කෝ අත් අඩංගුවට ගනු ලැබූ නැතිනම් හමුදාවට බාර වූ එල්.ටී.ටී.ඊ සන්නද්ධ සාමාජිකයෙකු මේ ආණ්ඩුවේ දෑවුරුද්දක පුනරුත්ථාපනයෙන් පසු ගමට පැමිණීමත් අනතුරුව ඔහු මුහුණ දෙන කෙළවරක් නොමැති අකරතැබ්බයනුත් හඳගම ඉතා විවෘතව තම නිර්මාණය හරහා කතා බහට ගෙන එයි. හමුදාව යටතේ ආණ්ඩුව සංවිධානය කර ඇති මේ පුනරුත්ථාපනයේ ඇති බොල් අර්ථශුන්‍ය භාවය, හඳගම සම්මුතියකින් තොරව කතා කරයි. ඒ ගැන කිසිදු අවුලක් නැත. එය එවැනිම ය හා ඊටත් වඩා බියකරු යැයි කීමට වඩා, වෙන අදහසක්  ඇත්තේ නැත. උතුරුකරයේ සැබෑ ජීවිතයෙහි පුනරුත්ථාපනයෙන් නිදහස් කෙරෙන තරුණයින් ගම එන්නේ හමුදා බුද්ධි අංශයේ නිරන්තර සෝදිසියට යටත්ව ය. එයම පුනරුත්ථාපනය ගැන ඇති බරපතල ප්‍රශ්නයකි. පුනරුත්ථාපනය ආණ්ඩුව කියන ආකාරයට සාර්ථක නම්, හමුදා බුද්ධි අංශය ඔවුන් පිටු පස සිටිය යුතු නැත. එළෙස පැමිණි ඇතැමුන් නැවත අතුරුදහන්ව ඇති බවත් මාධ්‍යයන්හි වාර්තා විය. එහෙත් එවැනි ඉගියක් හෝ පුනරුත්ථාපනයෙන් පසු ගම පැමිණි මේ තරුණයා ගෙන් දැනෙන්නේ නැත. ඒ ගම අහලකවත් ආරක්ෂ අංශයේ කිසිවකු නැත.

හඳගම කතා කරන්නේ පුනරුත්ථාපනයේ ඒ පැතිකඩ නොවේ යැයි කෙනෙකුට කිව හැක. කමෙක් නැත. එසේ යැයි කියමු. එහෙත් සන්නද්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සමස්ථ දෙමළ සමාජයේ කිසිදු බෙදීමක් නැතිව පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරන්නේ යැයි හඳගමට කිව හැකි ද ? ‘‘ඉනි අවන්’’ සිනමා කෘතිය ආරම්භ වන්නේ පුනරුත්ථාපනයෙන් පසු එල්.ටී.ටී.ඊ සන්නද්ධ සාමාජිකයෙකු ගේ පළමු ගම පැමිණීම රූපයට නැගීමෙනි. ඒ සඳහා වන හැම රූප රාමුවක්ම හඳගම යොදා ගෙන ඇත්තේ ගමෙහි ඔහුව නොපිළිගන්නා අයුරු පෙන්වීමට ය. අසල්වැසියන් සහ ගමේ කඬේ මුදලාලි පමණක් නොව, කුඩා දරුවකුද ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන්නේ ය. දෙවසරකට පසු ගම පැමිණෙන ඔහු සමගින් සිනහ වන, ඔහු දෙස සානුකම්පාවෙන් බලන කිසිවකු, ඒ ගමේ නැත. අඩුම තරමින් ඔහුගේ සම වයසේ හෝ ආසන්න වයසේ තරුණයෙකු හෝ ඔහුට මුණ නොගැසෙන වියළි, පැතලි ගමක් හඳගම රූපයට නගන්නේ ය. නැවත ගම එන තම ඥාති තරුණයෙකුද වන ගමේ සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයා, ගමේ හැම කෙනෙකුම ප්‍රතික්ෂේප කිරීම, මේ හැම රූප රාමුවකින්ම අවධාරණය කරන්නට හඳගම වග බලා ගෙන ඇත. සමස්ථ දෙමළ සමාජයම එල්.ටී.ටී.ඊය ප්‍රතික්ෂේප කරන්නේ යැයි පූර්ව නිගමනයක සිට තරුණයාගේ පශ්චාත් පුනරුත්ථාපන ජීවිතය දෙස එබිකම් කිරීමට හඳගම කල් තියා තීන්දු කිරීමක් එහි ඇත.

එනිසාම එහි කතා කළ යුතු පැහැදිලි දේශපාලන අර්ථ දැක්වීමක් ඇත. මුඵමහත් ගමක් එළෙස එම එල්.ටී.ටී.ඊ තරුණයා හෙළා දැකීමත් ප්‍රතික්ෂේප කිරීමත් මගින් හඳගම කියන්නේ යුද්ධයෙහි වූ එල්.ටී.ටී.ඊ දේශපාලනය මුලූ මහත් දෙමළ සමාජය නොපිළිගන්නේය යන්නයි. තවත් ආකාරයකට කියන්නේ නම්, මේ දෙමළ තරුණන් සටන් වැදුණු ත්‍රස්ත ක්‍රමය පමණක් නොව, ඔවුන් ඉදිරිපත් කළ දෙමළ ජාතිකත්වයත් සමගින්ම ඔවුන්ව උතුරේ දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරන බව ය. එබැවින් නිදහසින් පසු මේ රටේ ගොඩ නැගුණු වාර්ගික ප්‍රතිවිරෝධයන් මත නග්න ලෙස තහවුරු වූ දෙමළ ජාතිකත්වය, උතුරේ දෙමළ සමාජයට අදාල නැතැයි කෙනෙකුට තර්ක කළ හැකි දේශපාලන අවකාශයක් හඳගම ඒ රූප රාමු මගින් නිර්මාණය කර දෙන්නේ යැයි සිතුනි.

සමස්ථ දෙමළ සමාජය එල්.ටී.ටී.ඊය පිළිගත්තේ නැති බව සැබෑ ය. ඇතැමුන් එල්.ටී.ටී.ඊයේ ඒකාධිකාරි මෘග ත්‍රස්තවාදය පමණක් ප්‍රතික්ෂේප කළ අතර, ඇතැමුන් සමස්ථ එල්.ටී.ටී.ඊ සංවිධානය ගෙඩි පිටින් ප්‍රතික්ෂේප කළහ. එහෙත් ඔවුන් පාදක කර ගත් දෙමළ දේශපාලනය ප්‍රතික්ෂේප කළ දෙමළ සමාජයක් මෙරට නොවින. එළෙසින්ම බරපතල ලෙස ජ.වි.පෙ ප්‍රතික්ෂේප කිරීම් අපි 1987-90 කාල වකවානුවේ දුටුවෙමු. මෘග ඝාතන සම්බන්ධයෙන් ජ.වි.පෙ ක්‍රියාධරයින් පාවා දුන් පිරිස් එකල සමාජයේ නොවුනා ද නොවේ. එහෙත් එය සමස්ථ සමාජයේ පොදු ප්‍රකාශනයක් නොවුනි. ඔවුන් කතා කළ දේශපාලනයේ යමක් මේ සමාජය කතා කිරීමට සූදානම්ව සිටියේ ය. නැවත ජ.වි.පෙට දේශපාලනයට පිවිසිය හැකි වූයේ එබැවිනි. හඳගම කතා නොකළාට, එල්.ටී.ටී.ඊයට ද දෙමළ සමාජයේ ඇත්තේ එවැනි කලවම් වූ ඇගයුමක් යැයි මම කියමි.

ඊට හේතු ඇත. එල්.ටී.ටී.ඊය භාවිත කෙරුවේ හුදු කාලකණ්නි ත්‍රස්තවාදයක් වූවත් ඒ එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡුත්වයට කිඳා බැස ගත හැකි වූ සිංහල රාජ්‍යයට එරෙහි දෙමළ දේශපාලනයක් දසක ගණනාවක් පුරා දෙමළ සමාජයේ පැළපදියම් වී තිබිණ. එනිසා එල්.ටී.ටී.ඊය විශාල මනුෂ්‍ය ඝාතනයක් සමගින් යුද්ධයෙන් පරාජය වී අහෝසි වූවත් ඒ විනාශයට වගකිව යුතු එකම සංවිධානය හා පුද්ගලයින් එල්.ටී.ටී.ඊය යැයි කියන්නා වූ පොදු, තනි හා සරළ දෙමළ සමාජයක් යුද්ධයෙන් පසු වසර දෙකකින් උතුරේ බිහිව ඇතැයි කීම, හඳගම සැළකිය යුතු අන්තවාදයකට ගමන් කිරීමකි.

ඒ අන්තවාදී අර්ථකතනයටම අයත් වෙනත් දෘශ්‍යම සාධක ද හඳගම විසින් සිනමා කෘතියට එකතු කර තිබිණ. ඒවාට දේශපාලනයක් නැතැයි කිසිවකු තර්ක කරනු ඇතැයි නොසිතමි. ඔහුගේ දෘශ්‍යම පෙළ ගැස්මෙන් ඉදිරිපත් කරන පශ්චාත් යුධ යාපනයේ කිසිදු තැනක කිසිදු මොහොතක, හමුදා සෙබළෙකු දැකිය නොහැක. පොලීසිය අහම්බෙන් මෙන් දකින්නට ලැබෙන්නේ පාලූ හංදියක සිංහලෙන් වචන දෙකක් කතා කරන තත්පර කිහිපයක රූප රාමුවක ය. මහා කලබලකාරී නගරයේ කිසි තැනක හමුදා සොල්දාදුවෙකු හෝ පොලිසියේ කොස්තාපල්වරයෙකු නවතා නැත. අවම තරමින් නගර මධ්‍යයේ රථ වාහන හසුරුවන කොස්තාපල්වරයෙකු හෝ යාපනයේ නැතැයි හඳගම ගේ ‘‘ඉනි අවන්’’ සිනමා කෘතිය අපට කියයි. පොලීසිය සහ හමුදාව නොමැත්තේ හඳගම දකින යාපනය නගරයේ පමණක් නොවේ. යාපනයේ ගම් පෙදෙස් ද එවැනි ය. වාහනයක් පසු පස හඹා යන තරුණයාගේ දිගු මෝටර් සයිකල් ධාවන සවාරියේ දී පසු කරන ගම් නියම් ගම් කිසිවක දී ඔවුන්ට හමුදා හෝ පොලිස් මුර පොළක්, හමුදා වාහනයක් හමු වන්නේ නැත. අද උතුරේ ධීවර ජනතාවට ඇති ප්‍රධානම ගැටලුව, නාවික හමුදාව ඔවුන්ගේ වෙරළ තීරය දිගටම අරක් අරගෙන සිටීම ය. එනමුත් සිනමා කෘතියේ පෙන්වන සුන්දර මුහුදු තීරයේ කිසි තැනක නාවික මුර පොළක් දැකිය නොහැක. එළෙස පොලීසියක් හමුදාවක් නැති සිවිල් පුරවැසියන් පමණක් වාසය කරන එවැනි ශුද්ධ නගරයක්, ටවුමක්, ගමක් මේ ශ්‍රී ලංකාවේ කිසිම අස්සක මුල්ලක සොයා ගත නොහැකි ය.

එබැවින් ‘‘ඉනි අවන්’’ මගින් හඳගම එසේ ඉදිරිපත් කරන යාපනය දුටු විගස මට මතක් වූයේ ජනාධිපති විසින් පත් කරනු ලැබූ ‘‘උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම’’ සිය අවසන් වාර්තාවෙන් ඉතා බරපතල කාරණාවක් ලෙස මතු කර ඇති උතුරේ සමාජය හමුදාකරණය කිරීම සම්බන්ධ කාරණාවයි. එකී වාර්තාව සනාථ කරමින් 2011 ඔක්තෝම්බර් මස 21 වන දින, උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් දෙවන තත්ත්ව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර සුමන්තිරන් කියූවේ, යාපනය අර්ධ ද්වීපයේ සෑම පුරවැසියන් 10 කුටම එක් සොල්දාදුවකු බැගින් ඉන්නා බව ය.

එවැනි වාර්තා වලට පිළිතුරු මෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පසු ගිය ජූනි මාසයේ මාධ්‍යයට කළ ප්‍රකාශයකට අනුව, යාපනය අර්ධ ද්වීපයේ අධි ආරක්ෂක කලාප තුනී කර ඇති අතර, සොල්දාදුවන් ඇත්තේ 15,600 කි. ඔහු පැවසූ අයුරු දැන් වැඩිම හමුදා සොල්දාදුවන් සංඛ්‍යාව ඇත්තේ අනුරාධපුරයේ ය. ‘‘ඉනි අවන්’’ සිනමා කෘතියට අනුව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියූ සොල්දාදුවන් සංඛ්‍යාව හෝ යාපනයේ දකින්නට නැති ය.

හමුදාකරණය පිළිබඳ ඒ බරපතල සාධකය හඳගම ඔහුගේ සිනමා කෘතියෙන් සහමුලින් ඉවත් කර, එල්.ටී.ටී.ඊය සමස්ථ දෙමළ සමාජයම සහමුලින් ප්‍රතික්ෂේප කරන දේශපාලන ප්‍රපංචයක් යැයි තම නිර්මාණයෙන් තහවුරු කරන්නට යන්නේ මන්දැයි ප්‍රශ්නයකි. එය මෙවැනි යථාර්තවාදී සිනමාවක් හසු කර ගත යුතු කවුරුත් දන්නා යාපනයේ යථාර්ථය නොවේ.

එවැනි දේශපාලන අර්ථ කතන සමග, හඳගම පුරුත්ථාපනයෙන් පසු එන තරුණයාගෙන් ඉස්මතු කරන්නට උත්සාහ කරන ‘‘මනුස්සකම’’ සාමාන්‍ය ගමේ චණ්ඩින් ද දක්වන මනුස්සකම වැනි ය. එනිසා මේ ‘‘ඉනි අවන්’’, දෙමළ බසින් ඔහු මෙතැන් සිට යැයි කීමකට වඩා, දෙමළ බසින් ‘‘ඉනියාවන්’’ යැයි අදහස් කෙරෙන සුන්දර මනුස්සයා මේ යැයි කීම, වඩා ගැලපෙන්නක් විය හැක. ඊට වැඩි යමක් ඒ ගැන මට නොසිතුණි. හඳගම ඒ මනුස්සකම ඉස්මතු කරන්නේ පුනරුත්ථාපනයෙන් පසු එල්.ටී.ටී.ඊයේ ත්‍රස්තවාදී මතවාදය සෝදා අත් හල තරුණයෙකු අනතුරුව පුනරුත්ථාපනයෙන් වැළඳ ගන්නා මනුස්සකමෙක් ලෙසද ? නැතිනම් ඔහු එල්.ටී.ටී.ඊ මතවාදයෙන් ඉතිරි කර ගන්නා ජීවිත කැප කිරීමේ සාර ගුණයක් ලෙස ද ? නොදනිමි. එහෙත් ඒවාද කතා කළ හැකි ය.

එනමුත් වැදගත්ම ප්‍රශ්නය වන්නේ, හඳගම මේ සංවාදයට එකතු වන්නේ කොතැනින්ද යන්නෙහි ය.

කුසල් පෙරේරා

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements