you're reading...
කලාව සහ සාහිත්‍ය

– සුළඟ සහ සුසුම வீசும் காற்றும் பெருமூச்சும் Breeze and the breath : 01

 pic 01ආසියෝ ජෝකර්ලා වූ පසුව, බූරුවන් පොරොවක් රැගෙන රුවිතෙට කිරිබත් කැපූ රටක සිට “හේරා”ට පෙම් කරන වග නම්…

අවසානයේදී ‘ චේ ‘ මරා දමා තිබුණි. අවසානය ම ආරම්භයක් කොටගෙන පෑනක් සමඟ ආරම්භයේ කෙළවරක හිඳගනිමි. චේගේ වියෝව දරාගත නොහැකිව සිටි අප්‍රමාණ පිරිසේ දුකට සමපාතව පසුව ‘ ෂෝන් පෝල් සාත්‍රේ ‘ විසින් විප්ලවීය මිනිසාට ලබාදිය හැකි උපරිම ආචාරය වදන්ගත කරන ලදී. මම ඒ වචන පිරිමදිමි ; සිපගනිමි. මෙය ලොව ඕනෑම තැනෙක මිය ගිය ‘ නිදහස් විමුක්තිකාමීන් ‘ වෙනුවෙන් පුදන මල් දමක් බඳු ය.

 ” ඔබ මිය ගිය බව සැබෑවකි. එහෙත් එදිනම ඔබ යළි උපන් බව ද සැබෑවකි. “

දහය වසර එළිපත්තේදී මම චේගේ මුහුණ කොහේ හෝ දුටුවද ‘සියක් වරක්’ නැරඹීමේ, තොරතුරු සොයා යාමේ ආසක්ත භාවයෙන් පෙළෙන්නෙක් වීමි. මට ඒ මොහොතේදී අවශ්‍ය ම ඖෂධය ‘කොක්කක්’ හරහා ලැබුණි. ඒ අනුසාරයෙන් ‘ලංකාවේ චේ ලා සොයා යා යුතු ය’ යන මනසිකාරයෙන් දිවා රෑ ඇස් හැරගෙන සිහින දකින්නට වීමි. පසු කාලීනව සිහින ඇතුළාන්තය ම තුහින සේ මැකී සුණු විසුණු වී ගිය කල ඉතිරි වූ අහින මම ප්‍රාණසමව රකින්නෙමි. මා තාත්තාගේ ශුක්‍රාණුවකට වග කියන්නටත් මත්තෙන් මේ බිම ඇවිද ගිය බොහෝ ” සැබෑ මිනිසුන් ” අපට මඟ හැරී තිබේ. අදටත් සමහර කරුණු කාරණා සම්බන්ධව න්‍යායික වශයෙන් මත ගැටුම් තිබුණද ඒ මිනිසුන්ගේ ” ජීව ගුණය ” පිළිබඳව කිසිදු තර්කයක් නොමැත! ඇත්ත වන්නේ එය ය. සාත්‍රේ කියූ පරිදි මිය ගිය දින ම යළි උපන්, මගේ වචනය අනුව ” ෆීනික්ස් මිනිසුන් ” සම්බන්ධ ටොන් ගණන් නිදසුන් ඉතිහාසයේ එල්ලී සිටින්නේ ය. දෙමළ සමාජයේ තිලීපන්ටත්, සිහළ සමාජයේ දයා පතිරණටත්, මුසල්මානු සුමිතුරා නිෂ්මිටත් අප අසීමිතව පෙම් බඳින්නේ එබැවිනි.
‘නිදහස – විමුක්තිය සහ විප්ලවය’ යන අක්මුල් ඉව කළ මුල් යුගයේ, පාඩුවේ ලුම්බිණි රඟහලේ පුටුවක හිඳ චේ ගැන ලියැවුණු පොතක පිටුවක් පෙරළීම තරම් ආස්වාදයක් තවත් නොතිබුණි. සුපර් ස්ටාර්ස්ලා, ඇස් දෙක පියාන නිදා නොගත් නිශාචරයන් කරළිගත වූ සමයක මිතුරන් කිහිපදෙනෙකු හා මනසින් චේගේ මෝටර් සයිකල් සවාරියේ වටයක් යාමට අපි පොහොසත් වීමු. අද වන විට ඒ මිතුරන්ගෙන් අයෙක් පිටරටද, තවකෙක් ගම් දනව් පිහිටි පහතරටද , තවත් අයෙක් පවුල් පන්සල් වී මතුරටද සිටින බව සැබෑවකි. ඒ නමුදු මේ මතකය අමතක නැතැයි මම උඩරට යන අතරවාරයේ පවා සිතන්නෙමි. සිනහවෙන් මතකය මෙපිටට අදින්නෙමි.

ඉන් මතු උදාවන ඒ ලෙවල් ඉතිහාසයේදී හයිලෙවල් පාර අද්දරත්, රොටරි ටියුටරියේ දේශන ශාලා වලත්, ඉඳහිට පෙනහැල්ල දුමාර හාදුවෙන් තවරන විටත් අපි දොඩමළු වීමු. අනුලා එකේ කෙහෙල් ලෙල්ලත්, විසාඛා එකේ ටෙස්ට් ටියුබ් කෙල්ලත්, මියුසියස් ටයිසියස් මල්ලත් ආදී වලත්ත, පඩත්තර, සූත්තර කතා අවසන කොල්ලන් මනෝ ගසන්නට පළමුව මම කොඩිය ඔසවන්නෙමි. ලෙනින්ලා – පිදෙල්ලා – භගත්ලා සේ ම දයාසේන ගුණසිංහලා, රෝහිත භාෂණලා, මංජුල වෙඩිවර්ධනලා, ෂේන් මැකෙල්විලා කතා අඳුනින් කැඳවන්නෙමි. මතක් වෙද්දිත් ගඳ ගසන රොටරියේ ඉතා පිරිසිදු කක්කුස්සියේ අයිනක සිට සිගරටය අත දරාගෙන ‘නිරුත්තර සමාධිය’ ගැන සවිස්තරව පවසන්නෙමි. පසුව තව තවත් තොරතුරු සන්නාගෙන් අසා දැන ගන්නෙමි. දැනුදු සුගන්ධවත් මතකය සිප වැළඳ ගන්නෙමි.

රාජකීය නව රඟහලේදී එවිට තිත්ත කසාය වන් අමු කඩ්ඩෙන් ‘පිනා’ බරසාර දෙසුම් දෙසද්දී, ඈත පසෙකට වී ‘ චන්ද්‍ර කුමාර වික්‍රමරත්න ‘ගේ කවියක් මිතුරන් සමඟ බෙදා හදා ගත් අයුරු අදටද එක්තරා ආකාරයක ජීවමය රටාවකි. ඒ අතීතය සොඳුරු ය. අවංක ය. ප්‍රණීත ය. දුක ය… එකල ‘සමාජවාදී කලා සංගමයේ’ පතාක කුළුණක් වූ ‘මහේෂ් කුමාර’ සහෝදරයා සමඟ සමහර දිනවල උදේ සිට හවස් වනතුරු ම මාදිවෙලදී කාලය ගෙවුණේ කතා බස් ඇසුරේ ය. එවිට චන්ද්‍ර කුමාරත් – ටාසනුත් – මහානාම මහත්තයාත් පවන රැගෙන කතා අතරට පැමිණෙන්නේ නිතැතිනි. දිනෙක කතාවක් අතරතුර මහේෂ්  ‘ කසුනා, මෙන්න බලපන් කවි! ‘ කියා පැරණි ‘ හිරු ‘ පත්තර පිටුවක් ; නිම්තෙරක් ඇස් අතරට ගෙන ආවේ ය. එතැන් පටන් එහි වූ කවිය ලියූ මිනිසාගේ අතට අසුවන සෑම කවියක්ම මට දිව්‍යමය ඔසුවක් බඳු විය. එකී මිනිසාගේ කවීත්වය සම්බන්ධව දශමයක තරම් හෝ සටහනක් තැබීමට මත්තෙන් ඊට බලපෑ මගේ ඉතිහාසය දිග හැරියේ හෘද සාක්ෂිය සියල්ලට වඩා බලවත් බැවිනි. කමන්න!

මේ සොඳුරු මිනිසා පිළිබඳව – තියුණු කවියා පිළිබඳව ‘හදේ රිදීම’ මගේ පරම්පරාවේ උන් සහ වයස් භේදයකින් තොරව අපේ මිත්‍රයන් සමඟ බෙදා හදා ගත යුතු ය. මක්නිසාද යත්, ‘ කවියන් යනු මොවුන්’ ය. හේ ” අජිත් සී. හේරත් ” නම් වන්නේ ය. ගස් ගල් පවා රාජ්‍ය මර්දනයේ දඬු අඬුවෙන් බැට කෑ යුගයක දකුණේ විප්ලවීය හදවත් ගැනත්, ඒ සිත් ගැහෙන රත් සුසුමන් ගැනත් අකුරින් ලියා තැබූ ” ගරිල්ලා සිහින දුටු කුරුල්ලා ” ඔහු ය. කාලයේ වැලි තලාවෙන් රැළි එකිනෙක වැසී යාමට මත්තෙන් වර්ග සංහාරික අහිංසක දෙමළුන් පිළිබඳව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් සටහන් තැබූ සහෝදරයා ඔහු ය. අනෙකා වෙනුවෙන් පෙනී සිටීම නිසාවෙන් ම, පිටුවහලේ ඈතක සිට ස්කයිපීය පියස්සෙන් අත වනනා කාව්‍යමය ‘හේරා’ ඔහු ය. ඉදින් ඔහු පිළිබඳ මාගේ මේ මුරණ්ඩු ආදර ගනුදෙනුව ඔබ හා බේරා ගත යුතු ය. එන්න…අපි ඔහු කරා යමු!

අජිත් සී ගේ ජීවිතය – ආදරය – කඳුළ – බලාපොරොත්තුව ආදී අට ලෝ දහම ම කවීත්වය අබියස ” වචන “ය. වරෙක ඉකි ගස ගසා හඬනා කඳුළු ය. වරෙක හිත කොනිත්තා විගසින් නියපොත්ත මෙපිටට ගන්නා සදාතනික රිදවීම් ය. තවත් වරෙක අසාධාරණ පොදු ඉතිහාසයක වැඩි බර සහිත ” සාධාරණ සාක්ෂිය.” විටෙක එළිවැට පරයා එළියට පනින්නේ වන්නියේ ඇද වැටුණු දමිළ නිදහස් සටන්කාමියෙකුගේ රුහිරු ය. විටෙක අනුප්‍රාසය බිඳ දමා අරුත් අද්දරට පිය නඟන්නේ අතුරුදන් වූ දරුන් සොයමින් ඇවිදිනා මව් දෙවඟනකගේ වැළපුම් ය. හුදෙකලා මොහොතක අප අතරට පැමිණෙන්නේ කවියා, කවියෙකු බවට පත් වූ ඉතිහාසගත ගැටුම ය.

“…..ඒ සුන්දර කඳුකර නගරය
නොවිණි නම්
අප කිසි දිනෙක
එකිනෙකා මුණ ගැසෙන්නේ නැත

………පෙබරවාරියේදී අපි
උද්‍යානය කෙළවර
ඉපැරණි කොටු පවුර මත
වාඩි වී සිටියෙමු
මගේ මිතුරන්
සිය පෙම්වතියන් ගැන දොඩමින් උන්හ.
ඇගේ දාහත් වැනි උපන් දිනය සඳහා
සුබ පැතුම් පතක්
මගේ පොත් අතර විය

කඳුළු ගෑස් සහ වෙඩි උණ්ඩ විසින්
අප විසිරවනු නොලැබිණි නම්
ඇතැම් විට අප තවමත් එතැනය
මාර්තුවේදී නගරය
මරණයේ භීතියෙන් වෙළී තිබිණි
අපි ඝාතකයන්ට එරෙහිව
සටන් වදින්නන්ට එක් වූයෙමු
හිටි හැටියේ කඩා වදින
සෙබළ රංචු මිසෙක
ඒ අප්‍රේලය අපේ නගරයට
වසන්තය රැගෙන ආවේ නැත

……ඉතිහාසයේ බුල්ඩෝසරය
හැමදාමත් ඇදී ගියේ
මල් පාත්තී මතිනි
දැන් ඇය නොමැතිවම
ඇයගේ විසි දෙවැනි උපන් දිනයද
ගෙවී යයි
සුබ පතන්නේ කා හටද

මේ ජනවාරීයේදීත්
කඳු වලළ්ලෙන් පහළට
ඇද හැළෙන රන්වන් හිරු රැස්
හෝ සුදු මීදූම දකින්නට
ඔවුන් ශේෂ වූවා නම්
මා කිසි දිනෙක
කවි ලියන්නේ නැත. “
 ( කඳුකර ගීතය – නිම්තෙර- හිරු- 1994 ඔක්තෝබර් 02 )

මගේ ප්‍රශ්නය, ඔහු කවි නොලීවා නම් මා ” කවි ” කියා කියවන්නේ මොනවාද යන්න ය. එකට දුම් ගසා, මීළඟට එකට ‘මීවිත’ පුරමු යැයි පවසා,එක ම බසයේ පැමිණ ගෙදර ගොස් වෙනත් මුහුණකින් මුහුණු පොතට’විත් සැබෑ කුඩුකේඩු මුහුණ පෙන්වන බඹරුන් අතර, දුර ඈත දේශෙක, මා සිහිනෙකින් පවා නොගිය පළාතක සිට තවමත් මිතුරන් ගැන සිහින දකිනා අජිත් සී සැබෑ කවියෙකි! මට අනුව ඔහු කවි විඳින, කවි ලියන සියල්ලන්ටම ‘වෙස් වළාගෙන පැමිණි ජීවමාන ආශීර්වාදයකි.’ දැන්, මේ කවියාගේ නිහඬ බව දරාගත නොහැකි කරුණක් ය. ඉදින් මා ආදරයෙන් හේරාට පවසන්නේ ” ලොක්කා, එකපාර ගොළු වෙලා සහෘද අපිව නන්නත්තාර කරන්නට එපා ‘ කියා ය. නමුත් ” ඒ නිහඬ බවටද කටහඬක් තිබෙන බව ” අජිත් සී පවසනු නොඅනුමාන ය.

” නිදිගත් නගරයේ
මායිමද පසු කර ඇවිද යමි
අවසාන පහන් කණුවේ එළියද
තුනී වෙයි

…. මා එනබව
ඔබට දැන්වූයේ නැතත්
ඔබේ කුටියේ
පහන් දැල්වෙන තෙක්
හුරුපුරුදු දෙවැට අද්දර
නැවතී සිටියෙමි

…..ඔබ කවුළුව විවර කළේ නැත
නුදුරු සුදු ගඟ ඉවුරේ
උණ පඳුරු සැලෙන හඬ පමණි

අවසානයේ මම
ඔබේ කට හඬ හඳුනා ගතිමි
ඔබ මිහිරි සරින්
දරු නැලවිළි ගීතයක් ගැයුවාය
මා ආපසු යායුතුව තිබිණි
ඊට පෙර
ඔබට දෙන්නට ගෙන ආ
ඉසුරුමුණි පෙම් යුවළ කැටයම

කවුළුව අද්දර තබා යමි
පසුගිය සිවු වස පුරා
මා එය නෙළූයේ
සබන් කැටයකිනි………

 ( අළුයම දුම්රිය – හිරු – නිම්තෙර-1994 ඔක්තෝබර් 23 )

” ප්‍රේමය “ට තවත් නිදසුන් අවැසි නැති බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඒ විදසුන් වැඩීමට තරම් අජිත් සී පෙන්වන ‘ජීවිතයේ ඉවසිල්ල’  හරහා ය. ඒ ඔස්සේ යමින් සම්ප්‍රයෝගයට වඩා හැමවිටම විප්පයෝගය බලවත් වන අවකාශයක ” පේමතෝ ජායතී සෝකෝ ” නොකියා ” සෝකෝ රසෝ ” කරගත හැකි නේදැයි යටි සිත විමසයි. කවියේ දුර ප්‍රමාණය මැනිය නොහැකි මට්ටමට ම අජිත් සී ගෙන යයි…

මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමට ප්‍රථමයෙන්, ලංකාව යනු තමන්ගේ ජංගම ගිණුමක් යැයි සිතා සියල්ල අතවරයට ලක් කළ අවකාශයක පළමුව නිහඬ බව දුරැලූ, යුක්තිය ඉල්ලූ දෑස් අතර ‘හේරා’ගේ දෑතත් – කවි මල්ලත් ඉහළින් ම තිබුණේ ය. ‘නිශ්ශබ්ද මනසක සන්නද්ධ භාවය’ මෙතකැයි යන්න ඔහු පන්හිඳෙන් පෙන්වාලී ය. ඒ ඔස්සේ අතිශය දේශපාලනික කවීත්වයත්, එමතු නොව මඟ හැරුණු රෝමාන්තික ප්‍රභේදයත් ඔහු අප හමුවට ගෙන එයි. පෞද්ගලික අනුභූතියක් ‘පොදු රිදවීමක්’ බවට පත් කිරීමට හේරාට අවශ්‍ය වන්නේ වචන කිහිපයකි. ඒ වචන යනු, ඔහුගේ ජීවිතයයි. ඒ කඳුළු යනු, වචන අතරින් මතුවන අපගේ ජීවිතයයි.

” ඇදෙත රළු මග නොමැති පියැවිළි
කුමට හමු වූයේද අප යළි
නුඹේ මුදු තඹ කුඩා කෙහෙ රැළි
සිහි කරත පෙර ලියූ පෙම් කවි

නටබුන් රුවන් විජිතය
දහසක් යොදුන් ඈතය
නුඹහට තාම නොකියුව
රහසක් පමණි ශේෂය
……මා වෙතින් මා බැහැර වූ දින
නුඹ වෙතට නුඹ ගිලී ගිය දින
දෙවන වරටද ප්‍රථම ප්‍රේමය
අඳුරු සිර ගෙය තුළ දී මියැදිණ

………මළ කඳන් හා උණ්ඩ මැද සිට
සමනළුන් හා මල් දකින නුඹ
වැරදි යයි කෙලෙසකින් කියමිද
මල්ම මිස ලේ කවුරු පතතිද……

( දයාබර සේනානි – ලක්දිව- නිම්තෙර 1993 පෙබරවාරි 28 )

චේ, “චින්චිනා”ට ප්‍රේම කෙරුවාටත් වඩා හේරා, “සේනානි” හට ප්‍රේම කර ඇති බව ඒ අකුරු අද්දරින් මතුවන කෙහෙරැල්ලෙන් සහ කඳුළැල්ලෙන් වටහා ගැනීම අපහසු නැත……

මිනිස් රුධිරය ම දැක දැකත්, වර්ග සංහාරය පිණිස ආයු ආවැඩූ පූර්වයේ මිණි බඳු ‘සොඳුරුතම කවියන්’ හට මානුෂීය දිශාව වැරදී ගිය ද, හේරා හරිම පාරේ ඉදිරියෙන් ම ගමන ගෙන ගියේ ය…තවමත් යන්නේ ය…යන අතරතුර අප වෙතටද ‘ඕං කියවපන්’ නොකියා නිහඬව ඔහු මුදා හරින්නේ, හේරා විසින් හේරාටම වෙඩි තබාගන්නා ලද සන්තානගත කඳුළු ය ; සංහාරගත ඇත්ත ය! මෙය තීක්ෂණ හැකියාවකි.

 සූක්ෂම හැදියාවකි!

” බුදුපුත් පයට පෑගෙන හැඳුනුම් පතද අරගෙන
දරුන් සොයමින් ඇවිදින කඳවුරු ගානේ වැළපෙන
දුටු දුටු දෙනෙත් ඔරවන නමුත් කිසිවෙකුට නොපෙනෙන
ගිනිබත් දෙවොලේ තනිවුණ දෙමළ මව් දෙවඟන

සීහ දද ලෙළදෙන කොළොම්තොට නැත නුඹට කාරණ
ධවල රථවාහන රෑ දිවා දඩයමේ ඇවිදින
කනකර පැළැඳි අබරණ නිල නොනිල අත්වලින් ගැලවෙන
මේ මහා පුරවර නුඹට නම් නොම වේය නිවහන

නුඹ මැහැළි බව සැබැයි ඒ නමුත් නුඹවද සැකයි
ඇත්තමයි උඹ ගැන දුකයි ඒත් මට මං ගැන බයයි
මා ගැනත් දැන් උන් හොයයි රස්සාව රැකගත යුතුයි
ගමට පලයං අම්මේ, ඔව් ළමයි හෙට ගෙදර එයි

යොදුන්වලින් ජය මැනෙනා යුදක් මැද
සඳුන් කල්ක ගත් දරුවන් මියෙන සඳ
මවුන් දුටිමි සොයනා දරු විඳින වද
බුදුනි බුදු පුතුනි ගැලූ ලෙය තව මදිද “

( කොළඹදී හමු වූ දමිළ මව – බූන්දි – පෙබරවාරි 2009 )

‘නහි වේරේන වේරානි’ යැයි දෙසූ බුදුන්ද මරා දැමුණු යුගයක, ” කපා කොටා දෙමළා සහ මුසල්මානුවා මරා දමන්නට වැදි බණ දෙසූ ” බුදු පුතුන් දුලබ නොවූ සමයක, තමා හට “බුදුන් හමුවීම” හා ඒ මොහොත නොසඟවා අපට පැවසීමට හේරා පෙළඹෙයි.

” අගනුවර අවන්හලකින්
ගත් බත්පත දිගහැරියෙමි.
ඔක්කාරය දනවන ලේ පිළී ගඳක්
ඉන් විසිරිණි
අරක්කැමි දෙමළ කොලුවා කිසිවෙකු විසින්
පැහැරගෙනයාමට පෙර
උගේ අවසාන කඳුළු බිඳුවෙන්
බත්පතේ ලුණුපදමද වැඩි කර තිබිණ

……දකුණේ දසත
නොනැවතී විසිරෙන ලේ පිළිගඳ
නැහැය හාරා පැමිණ
                              

හිසරදයට පෙත්තක් සොයා
ඔසු සලට ගොඩ වූයෙමි.
නන්වැදෑරුම් ඔසුවලින් පිරී ගිය
රාක්කද ශීතකරණද අරා වැජඹුණ
හැම ඔසුවක ලේබලය මත
බෙහෙත් නොමැතිව මැරුණු
සියළු දෙමළුන්ගේ නම් වාසගම්
කිසිවෙකුට නොපෙනන
ලෙසින් සඳහන් වී තිබිණි.
මා මිලට ගත් පෙත්තෙන්ද
අර අපුල ලේ ගඳ ම විහිදෙයි.
එය වීසි කර දමා
කුණු බක්කියක් මත වාඩි වී
පහන් කණුවකට හිස වාරු කර
දෑස වසා ගතිමි

දෑස් හැර බලන විට
ශාක්‍ය කෝලිය යුද්ධය නිමා කර
ආපසු වඩින බුදුන් හමු විය.
මට දැනෙන ලේ ගඳ මැඞීමට
මා පෙළන හිසරදයෙන් මිදීමට
සමත් ඔසුවක වෙත්දැයි
බුදුන්ගෙන් විමසුවෙමි.

එම ඔසුව සැකසීමට
දෙමළ ලෙය නොතැවරුණ
සිහල ගෙයකින් අබ මිටක්
රැගෙන එන ලෙස පැවැසූ
බුදුහුද කඩිමුඩියේ නික්මී ගියහ. “

( මේ ලේ පිළී ගඳ )

සෑම චේතනාවක ම වේදනාව තවරන මේ වදන් පුදුමාකාර ය. බොහෝ විට මුහුණු පොතේ ඉන්බොක්ස් පෙට්ටියට දන්නා හඳුනනා මිතුරු මිතුරියන් සේ ම, නාඳුනන හිතවතුන්ද ” උඹ කැමතිම කවියා කවුද ? “කියා අසන ඇසිල්ලේ මගේ සුරතින් කී බෝඩයේ ‘ඒ’ අකුරත් ‘සී’ අකුරත් ඉදිරියට පනින්නේය. ඒ ‘අජිත් සී’ය. ඔවුන් බහුතරයකගේ ඊළඟ පැනය ” ඒ කවුද ?” කියාය. එවිට මට හාරලක්‍ෂයට මළ පැන්නද ” නොදැනීම ම විශාල දැනීමක බී ජාංකුරය ” බැවින් ඉතා අපහසුවෙන් තරහ මැඩගෙන කවියක දෙකක ලින්කුවක් ඔවුන් වෙත මුදා හරිමි.

මොහොතක් දෙකක් ගතවෙයි. ” ඒ…ඒක මාරයි මචං. මේ බුවා දැන් කෝ..පිස්සු කොර නෙහ්.. ඩයල් එකගෙ පොත් එහෙම නැද්ද ?” ඒ මගේ පරම්පරාවේ වචන ය. උන් වදන් වැළඳගන්නා විදිහ ය. දැන් මේ සියල්ල දුටුවත් අජිත් සී නිහතමානීව මඳ සිනහවක් මුවඟ තවරණ බව පමණක් මම දනිමි. ඉදින් එතැන් පටන් මා විසින් බෝ කරන ලද ආදරණීය අජිත් සී උමතුවෙන් උනුන්ද පෙළෙන්නට පටන් ගනියි. මගේ සතුට එය ය! සිංහල සාහිත්‍ය පොත් ටොන් ගණන් අපබ්‍රංසයන්ගෙන් පිරෙද්දී මිනිසුන් උදෙසා ලියූ මේ කවි ” පට්ට කවි ” නොවන්නේ ඇයිදැයි මම ඔබෙන් අසමි. නෙරුදාගේ කවියක ජීවගුණයත් – ගෝර්කිගේ කතාවක ජීවගුණයත් එක්තැන් වූවා සේ මට සිතෙන හේරාගේ ” ගිනි අඟුරු සහ රෝස මල් ” යන සමස්ත කවිය ඔබට පවරමි. ඒ කවිය කියවා හමාර කළ පසු ඔබේ අභිනය නැරඹීම පිණිස ය…

” නික්මයාමට මොහොතකට පෙර ඔබ
ගිනි අඟුරු සහ රෝස මල්
එකම පැහැයෙන් දිදුළනා බව
මගේ පළමු පෙම් කව යටින්
රතුතීන්තෙන් ලියා තිබුනා

ඉතින් ඔබ යළිත්
එක වරක් හෝ දකිනු වස්
කල්පයක් ගත වී
කල්පයක් එළැඹී
අවසාන බස් රියත්
නික්ම යන තෙක්
නකල්ස් කඳුවලට ඉහළින්
මම බලා හිටියා

එකවරම නිහඬ වූ
අකාලික විශ්වයක
මියෑදුනු තරු අතර
දූලිකාවන් විලස

මගෙ බිඳුනු සිහින වැල්
පාව යන අතරතුර
ඔබ සොයා ඔබේ නම කියා
මහද ඉකිබිඳින හඬ
ඈතටම ඇසුනා

හිරු එළිය කිසිදාක නොවැටුන
හැමදාම හිම මිදෙන
මගෙ අඳුරු ග්‍රහ ලොවට
ගිනි අඟුරු  මිස රෝස මල්
කුමටදැයි සිතුනා

(ගිනි අඟුරු සහ රෝස මල් -හිරු – නිම්තෙර- 1995 පෙබරවාරී 12)

ඉදින් දැනුදු කුමන හේතුවකින් හෝ හිත් ගැඹුර දරුණු ලෙස කැළඹුණු මොහොතක මම තනිව කාමරයට වදිමි. ජනේලයක් හැරදමා සුළඟ සහ සුසුම සංසර්ගයේ යොදවමි. සුළඟේ සුසුමත් – සුසුමේ සුළඟත් එකිනෙක නලියනා’යුරු දැක දුක තුනී කරගමි. දමිළ සිනමාකරුවෙකු වන “මිස්කින්”ගේ සිනමාපටයක් තරමට ම, කපුගේ ගේ “දොඹ මල් කැළෑවේ ” ගීතය තරමට ම, “අජිත් සී” ගේ කාව්‍ය පද ගිලන් හද සුව කරන භෞතික භාවනාවක් ය. එනිසා ම සිරගත කෙරූ කඳුළු සඳහා පූර්ණ නිදහසක් ලබා දීමේ අටියෙන් ප්‍රාණසමව තබාගෙන සිටින “හේරා”ගේ කවියක් දෙකක් පෙරළමි. ඉවසිලිවන්ත අකුරු මත්තෙහි නොඉවසිල්ලෙන් නවතිමි!

කසුන් මහේන්ද්‍ර හීනටිගල | © VP

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s