you're reading...
කලාව සහ සාහිත්‍ය

අපේ කාලයේ ගීතාවලිය; විලාපය හා සමිඳුන් කෙරෙහි විශ්වාසය

Paintings

අනුමාතෘකාව
මාගේ සමිඳුනි,
මාගේ සමිඳුනි,
 කොපමණ දවස් බලා සිටින්නද?

සමිඳුනි,
මාගේ සමිඳුනි,
ඔබව ගායනා කළ
මාගේ තොල් වියළී ඇත
ඔබව මෙනෙහි කළ
මාගේ සිත ද ගින්නක් මෙන් ඇවිලෙයි
අලූයමේ විහඟ නද අතුරුදහන් වී ඇත
තාලයට වැයුනු බෙර කැඞී බිදී ගොස්
තැන් තැන්වල විසිරී ඇත.
කඳුකරය අවදි කළ
තප්පුවේ හම ඉරී
බිත්තියේ එල්ලී ඇත
යාල් හා වීණා තත් කැඞී
හුස්ම හිරවී පොළවේ වැතිර ඇත.
ගෙජ්ජි වැල කැඞී තැන තැන විසිරී ඇත
මාගේ සමිඳුනි,
මාගේ විමුක්තියේ සමිඳුනි,
ඔබ කෙරෙහි විශ්වාසයෙන් සිටින්නන්ගේ
හිස එසවුව මැනවි
ජීවතියේ සමිඳුනි,
ජීවිතය කෙරෙහි බලාපොරොත්තුව සුන් වී
සැනසීමකින් තොරව
බියෙන් සැකෙන් නිදා සිටියා වූ දවස ගැන සිතමින් වේදනා විඳිති.
සමිඳුනි,
නැතිවූ දේ සොයමින්
පොළවේ වැතිරී සිටින්නෙමු.
මෙම පොළවද
අපගේ ලෙයින්දහදියෙන් සාරවත් කළා වූ ගොවිබිම්ද
අපට අයිති නැති බව කියමින්
ඒකාධිපතීන්ගේ ආයුධය සිනාසෙන්නේය.
ආලෝකයේ සමිඳුනි,
ජීවිතය අන්ධකාරයට තල්ලූ කරන්නන්
ගොයම විනාශ කරන්නාවූ
ගිරව් මෙන්
තැන් තැන්වල
ස්ථිරව කඳවුරු ගසා ඇත.
සමිඳුනි,
යුක්තිය් දෙවිඳුනි,
මා කුමක් කරන්නද?
මිනිස්කම ආරක්ෂා කරන නීතිය
පාලකයන්ගේ ඇණ ගාස තිබෙන සපත්තුවලට යට වී
ලේ ගලමින් තිබේ
මාගේ ජීවිතයේ සමිඳුනි,
ඔබගේ පැත්ත ගනිමින්
ජීවිතය වෙනුවෙන් හඬ නඟන්නන්
අතුරුදහන් වන යුගයයි මේ
පාලක මැරයන්ගේ
පහරවලට ලක්වන යුගයයි
මේ
 දේශපාලකයන්ගේ ආරක්ෂාව ලබන
පාතාල කණ්ඩායම් විසින් බෝම්බ ගසන යුගයයි මේ
සමිඳුනි,
මාගේ සිත කැළඹී ඇත
ඔබගේ යුක්තියේ
සමාජ සාධාරණත්වයේ
පැත්ත ගත්තවුන්
දේශද්‍රෝහීන්, ත‍්‍රස්තවාදීන්, ඩයස්පෝරාවේ මිතුරු හවුල ලෙස නම් කරමින්
ජීවිතය උදුරාගන්නට වෑයම් දරති.
කිසිදු විභාගයකින් තොරව
කඳවුරුවලට තල්ලූ කරති.
බලහත්කාරයෙන් වරද පටවා
අනාගතය අඳුරු කරමින්
ත්‍රස්තවාදය වැලැක්වීමේ
පනත යටතේ
 සදාකාලිකව සිරගත කරති.
යුක්තියේ දෙවිඳුනි,
ඔබ කොපමණ කලක් බලා සිටින්නෙහිද?
සමිඳුනි,
මෙලොවේ අධිපතීන් ඉදිරියේ
නිරුවත්ව සිටින්නන්
දුප්පතුන්ව පීඩාවට පත් කරමින්
ඔවුන් සතු සියල්ල උදුරා ගැනීමට
අණ පනත් සකස් කරමින්
සුඛෝපභෝගී ජීවිත ගත කරති.
ඔබ වහන්සේ විසින් මවන ලද්දාවූ සියල්ල
සංවර්ධනයේ නාමයෙන්
විනාශ කරමින්
කෝටි ගණන් මුදල්
විදේශ බැංකුවල තැන්පත් කරති
පීඩිතයාගේ ඇඳිවත පවා විකුණා
මුදල් උපයන්නට ඔවුන් බලාසිටී.
මැවුම්කරු වූ ස්වාමීනි,
පීඩිතයන්ගේ සමිඳුනි,
ප්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය
ආරක්ෂා කරන්නන් ලෙස
ඔටුන්ට පැළඳ සිටින්නන්
කම්කරුවන්ගේ
අයිතීන් උදුරා ගනිමින්
ඔවුන්ගේ දහදියට මිල නියම කරමින්
කම්කරුවන් මහ මඟ මරා දමා
කම්කරුවන්ගේ ලෙයින්
ජාතික කොඩිය යයි කියා ගත්තාවූ
ජාතිවාදී කොඩිය වර්ණවත් කරති.
මාගේ සමිඳුනි,
ජීවිතයේ සමිඳුන් ඔබ බව අමතක කරමි.
වහලූන් බිහි කිරීමට
දිවි නැගුම් පනත් ඉදිරිපත් කරමින්
ජයපැන් සාද පවත්වති.
බාබෙල් කුළුණ කඩා දැමුවා වූ
මාගේ සමිඳුනි,
නෙළුම් පොකුණ ලෙසද
ආසියාවේ උසම නෙළුම් කුළුණ ලෙසද
අධිවේගී මාර්ග ලෙසද
ආසියාවේ ආශ්චර්ය ලෙසද
ගඩොල් සහ සිමෙන්ති
ජනතාවට පෙන්වා
මහජන සම්පත් කොල්ලකමින්
ජන ජීවිතය සැලසුම් සහගතව
විනාශ කරන්නේ
වියරුවෙන් නටන අවසාන නැටුම සේය.
මාගේ සමිඳුනි,
කොපමණ දවස් බලා සිටින්නද?
මාගේ සමිඳුනි,
මාගේ සමිඳුනි,
කම්මලේ කිණිහිරය මෙන්
මාගේ සිත වේදනාවෙන්
ඇවිලෙමින් තිබේ
කොපමණ දවස් බලා සිටින්නද?
කොපමණ දවස් බලා සිටින්නද?
පාර්ලිමේන්තුව කොල්ලකරුවන්ගේ සභාවක් වී ඇත
ජන නායකයන් ලෙස
තමන්ව හඳුන්වන්නෝ
බැටළුහම් පොරවා ගත් වෘකයන් මෙන් හැසිරෙති
නීතියේ දෙවොල කඩා බිඳ දමා
අත්පොලසන් දෙති.
යුක්තිය් දෙවඟන නිරුවත් කොට
රතිඤ්ඤා පුපුරුවමින්
මහ මඟ කිරිබත් කමින්
ඔල්වරසන් නඟති.
සමිඳුනි,
ඔබගේ ඉවසීමෙන්
ඔබ කෙරෙහි විශ්වාසයේ සිටින්නන්
වෙහෙසට පත් නොකරන්න.
ප්‍රේමයේ සමිඳුනි,
ආරක්ෂාකරුවනි
මෙහි යුධ ජයග්‍රහණයේ මමත්වය
හිස මත තබා ජාතිවාදය ව්‍යාප්ත කරවා
ආගම්වාදය තියුණු කරමින්
පාලන බලය පවුල සතු කරන්නට
නීති සම්පාදනය කරමින්
නිදහස වල දමති.
ජාතීන්ගේ අනන්‍යතාවයේ නිදහස
කුරුසපත් කරමින්
ආයුධවලට උත්සව පවත්වා
නිදහස කෙලසති.
සමිඳුනි,
ඔබගේ ​ෙප්‍ර්මයේ රාජ්‍යය අමතක කරමින්
විනාශයට පොහොර දමා කෙකරගාති
සමිඳුනි,
ඔබගේ රාජ්‍ය කෙරෙහි බලා සිටින්නන්
සිත බිඳී ගොස් දිනපතා උග‍්‍ර වේදන විඳිති.
ඔවුන්ව උසුලන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති
සමිඳුනි, එන්න
බලවත් ලෙස පැමිණෙන්න
ඔබගේ විමුක්තිය හා නිදහස
අප පොළවේ ජීවත් කරවන්න.

***

සමිඳුනි,
මැවුම්කරුවානනි,
ජාතියේ අනන්‍යතාවයද
පොළවේ නිදහසද
ආරක්ෂා කරන්න.
ජීවිතය අහිමිවූවන්ගේ ජීවිත රකින්න.
ඔබගේ පැමිණීම බලා සිටිමු.
සමිඳුනි,
ජීවිතයේ රැුකවරණය ඔබේය.
ඔබගේ පාද පාමුලට පැමිණීමට හැකිවන්නේ කාටද?
ඔබ වහන්සේගේ ආශිර්වාදය පතන්නට පුළුවන්කමක් තිබෙන්නේ කාටද?
රාජ්‍යය ත්‍රස්තවාදයට එරෙහිව හඬ නඟන්නන්,
ප්‍රචණ්ඩත්වයට එරෙහිව සූදානම් වන ක්‍රියා කරන අය හා අතුරුදහන් කරන ලද්දවුන් සොයා යන්නන්,
ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරන්නන්,
ජන ජීවිතය සැලසුම් සහගතව අවුල් කරමින්
පීඩාව ඇති කරන්නන්ගේ හිස්වැසුම් ගලවන්නන්,
පීඩාවට පත්වී සිටින්නන් මුදවා ගන්නන්,
සියලූ නපුරු බලවේග විනාශ කිරීමට
නව බලාපොරොත්තු ඇති කිරීම සඳහා
යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්
ජීවිත කැප කරන්නන් පමණකි.

***

| සත්තිවේල් පියතුමා |

Discussion

No comments yet.

Leave a comment

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA